නරේන්ද්ර මෝදි යනු වර්තමානයේ ලොව සිටින බලවත් රාජ්ය නායකයන් අතරින් ප්රජාතාන්ත්රිකව බලයේ රැඳී සිටින වඩාත්ම මහජන ප්රසාදයක් හිමි නායකයා යැයි කිව හොත් නිවැරදිය. ලොව වැඩිම ජනගහණයක් සහිත රාජ්යයේ අසීමිත ආධිපත්යයක් හිමි අග්රාමාත්යවරයා ලෙස මෙන්ම කලාපීය හා ගෝලීය දේශපාලන වේදිකාවේ නරේන්ද්ර මෝදි චරිතය ඉමහත් අධිකාරියක් උසුලයි. 2014 වර්ෂයේ සිට මේ දක්වාම බලයේ රැඳී සිටිමින් තෙවරක්ම භාරතයේ ආණ්ඩු පිහිටුවීමට හැකි වූයේ ජවහර්ලාල් නේරු හා ඉන්දිරාගාන්ධිට පසුව මෝදිට පමණි. නායකයෙකු ලෙස නරේන්ද්ර මෝදි චරිතය ඉතිහාසගත වන අතර තම සම්පූර්ණ ධූර කාලය රැඳී සිටියහොත් ඉන්දිරා ගාන්ධි හා ජවහර්ලාල් නේරුගේ ධූරකාලයන්ද ඉක්මවීමට හැකියාව ලැබෙනු ඇත. වඩාත්ම වැදගත් කරුණ නම් මෙම දීර්ඝ කාලය තුල මහජන ප්රසාදය අනුව ඔහුගේ ප්රසාද දර්ශකය දිගින් දිගටම ප්රශස්ත මට්ටමක පැවතීමයි.Ipsos India Bus Survey දර්ශකය අනුව 2022 , 2023 හා 2024 වර්ෂ වල පිළිවෙලින් 60% , 67 % හා 75% ලෙස ඔහුගේ ජනප්රියත්වය සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව දැක්වේ. ඉන්දියාව වැනි බහු ජාතික බහු ආගමික සංස්කෘතික සම්මිශ්රණයක් තුල දිගු කලක් ජනප්රිය වීම විශාල අභියෝගයක් වුවද අභ්යන්තර හා බාහිර දේශපාලන බලවේග මනාව කලමනාකරණය කරමින් මෝදි එම අභියෝගය ජය ගැනීමට සමත්ව ඇත.
භාරතය තුල ප්රශස්ත දේශපාලනික සමායෝජනය හරහා ස්වකීය බලය ස්ථාවර කරගැනීම මෙන්ම අනුහාසාත්මක පෞරුෂයක් ගොඩනගාගැනීමෙන් නොනැවතී කලාපීය හා ගෝලීය වේදිකාවේ භාරතය සන්නාමයක් බවට පත් කිරීමේ අනවරත ව්යායාමයක මෝදි නියැලී සිටී. 2015 දී අන්තර්ජාතික සූර්ය සහයෝගීතාව (ISA) ප්රංශය සමග සම ආරම්භකයා වීම COP26 & COP28 සමුළු වලදී පංචාමෘත (Panchamrit) සංකල්පය ඉදිරිපත් කරමින් කාබන් විමෝචනය අවම කිරීමට පුරෝගාමී වීම BRICS සමුළු වල කැපී පෙනෙන චරිතයක් වීම හා ඒවා ඉන්දියාවේ පැවැත්වීමට පහසුකම් සැලසීම මෙන්ම 2023 නව දිල්ලියේ G20 සමුළුව පැවැත්වීමට කටයුතු කිරීමත් මෝදිගේ චරිතය ජාත්යන්තර දේශපාලන කරලිය තුළ රාජ්යතාන්ත්රික යෝධයෙකු ලෙස ඉස්මතු වීමට හේතු විය.
තමා ආමන්ත්රණය කරනු ලබන ප්රේක්ෂක ප්රජාව අනුව ස්වකීය ඇවතුම් පැවතුම් හා භාෂා විලාශය පවා අනුවර්තනය කල හැකි විශිෂ්ට චරිතයක් වන මෝදි සිය විදේශ සංචාර වලදී එම රාජ්යතාන්ත්රික පරිණතභාවය මැනවින් විදහා දක්වයි. තමා සංචාරය කරන සමාජය මනාව අධ්යයනය කර රාජ්යතාන්ත්රික සුහදතාවය වර්ධනය වන පරිදි කටයුතු කිරීම මෙවර සිදු වූ ශ්රී ලංකා සංචාරයේදීද කැපී පෙණුනි. ශ්රී ලංකා සමාජයේ සංවේදී ස්ථාන රාජ්යතාන්ත්රිකව ස්පර්ෂ කිරීම සඳහා මෝදි භාවිතා කල ක්රියාමාර්ග දෙකොටසකට වර්ග කළ හැකිය. ඒ ඔහු විසින් ඉදිරිපත් කල කථා වල අන්තර්ගතය හා භාෂා විලාශය මෙන්ම සංචාරයට තෝරාගත් ස්ථාන හා ප්රදර්ශනය කරන ලද හැසිරීම ලෙසයි.
මෝදි ශ්රී ලංකාවේදි සිදු කළ කථා වලදී භාවිතා කරනු ලැබූයේ සිංහල භාෂාවට ආසන්න සමාන වාග් විලාශයක් ඇති සංස්කෘත වචන වලින් පොහොසත් හින්දි භාෂාවකි. හින්දි භාෂාවේ විදග්ධ ව්යවහාරය බෙහෙවින්ම සංස්කෘතකරණය වූවක් වන අතර සාමාන්ය භාවිතයේදී උතුරු ඉන්දියාවේ භාවිතා වන්නේත් බොහෝ හින්දි චිත්රපට වල භාවිතා වන්නේත් උර්දු පර්සියානු ආභාෂය ලත් මදක් ග්රාම්ය වූ හින්දි භාෂාවයි. මෝදි සිය කථා වලදී ඕනෑකමින්ම හින්දි භාෂාවේ ජනප්රිය සාමාන්ය වචනය වෙනුවට සිංහල භාෂාවට සමපාත වන හින්දි වචනය යොදා ගැනීමට උත්සුක විය. සැබවින්ම සිංහල භාෂාව ගැන ප්රාමාණික දැනුමක් ඇති අයෙකුට මෝදිගේ කථාව පරිවර්තකයෙකුගේ සහාය නොමැතිව වුවත් වටහා ගත හැකි තරම් සමීප ලෙස භාෂාව හැසිරවීමට මේ අවස්ථාවේදි ඔහු දක්ෂ විය.
මෝදි විසින් යොදාගත් වාග්මාලාවේ වැදගත් වචන හා සාමාන්ය හින්දි භාෂාවේ ඊට අදාල වචන පහත දැක්වේ.
සාමාන්ය හින්දි වචනය භාවිතා කළ වචනය සිංහල තේරුම
इज़्ज़त (ඉස්සත්) सम्मान සම්මාන් සම්මානය
फ़र्ज़ (ෆාර්ස්) कर्तव्य කර්තව්ය ක්රියාව/කර්තව්ය
मदद (මදද්) सहयोग සහයෝග් සහයෝගය
वादा (වාදා) प्रतिबद्धता ප්රතිබද්ධතා කැපවීම
दोस्ती (දෝස්ති ) मित्रता මිත්රතා මිත්රත්වය
दुश्मन (දුෂ්මන්) शत्रु ශතෘ සතුරා
यक़ीन (යාකීන්) विश्वास විශ්වාස් විශ්වාසය
तारीख़ी (තාරීඛි ) ऐतिहासिक ඓතිහාසික් ඓතිහාසික
दिल දිල් हृदय හෘදය හදවත
तारीख़ी (තාරීඛි ) ऐतिहासिक ඓතිහාසික් ඓතිහාසික
नाज़ुक वक्त නාසුක් වක්ට් संवेदनशील समय සංවේදී කාල්සීමාව
(සංවේදනශීලි සමය්)
मौजूदगी (මෞජුගි ) उपस्थिति උපස්තිථි (උපස්තිථි) පැමිණ සිටීම
शुक्रिया (ශු ක්රීයා ) आभार ආභාර් (ස්තුති පූර්වක ) (ස්තුති පූර්වක )
मदद (මදද්) सहयोग සහයෝග් සහයෝගය
मुश्किल हालात कठिन परिस्थिति (කඨින පරිශිෂ්ටි )බාධාකාරි අවස්ථාව
(මුසාකිල් හාලාත් )
पूरा करना ( පූරා කර් නා)/ निभाना ( නිභානා) වෙනුවට निर्वाहन (නිර්වාහන්)
ක්රියාවට නැංවීම (සාර්ථක කරගැනීම )
हमने एक अच्छे पड़ोसी और दोस्त की तरह अपना फ़र्ज़ निभाया है।
( හම්නේ ඒක් අච්චේ පරොසී ඖර් දොස්ත් කි තරහ් ආප්නා ෆර්ස් නිභායා හෛ.)
වෙනුවට
हमने एक सच्चे पड़ोसी मित्र के रूप में अपने कर्तव्यों का निर्वाहन किया है
( හම්නේ ඒක් සච්චේ පරොසී මිත්ර කෙ රූප් මෙයින් ආප්නෙ කර්තව්යොම් කා නිර්වාහන් කියා හෛ. )
"අපි සත්ය මිත්රයෙක් හා අසල්වාසියෙක් ලෙස අපගේ යුතුකම් ඉටු කර ඇත්තෙමු"
මෙහිදී දෙමළ ජනතාව අතර ඉමහත් ගෞරවයට පාත්ර වන තිරුවල්ලුවර් කවියාගේ තිරුක්කුරල් මහා කාව්යයෙන් පද්යයක් උපුටා දක්වමින් දෙමළ ජනතාවගේ හදවත් ආමන්ත්රණය කිරීමටද මෝදි අමතක නොකළේය. කෙසේ වුවත් මෝදි විසින් උපුටා දක්වන ලද කවියට වඩාත්ම සමීප තිරුක්කුරල් කාව්යයේ 788 වෙනි කවිය වුවත් එහි අර්ථය අතිශයෝක්තියෙන් යුතුව පරිවර්තනය කිරීම කැපී පෙනෙන්න්නකි.
ඒ කවිය අනුව , නියම මිතුරා දුකෙහිදී බලකොටුවකි.
"இனைத்துணை யென்பதறியார் கேண்மை
துணைத்துணை வேண்டு பவர்."
නමුත් මෝදිගේ පරිවර්තනය අනුව " සතුරන්ගේ අභියෝග අභිමුඛයේ නියම මිතුරා පලිහක් සේ ආරක්ෂාව සපයයි " මෙම පරිවර්තනය ධ්වනිතාර්ථයෙන් සත්ය විය හැකි නමුත් මෙහිදී ඔහු එය විශේෂයෙන් ප්රකාශ කළේ භාරතය නම් දැවැන්තයාගේ ආරක්ෂාව යටතේ ශ්රී ලංකාව සුරක්ෂිත බව සන්නිවේදනය කරනු පිණිසයැයි වටහා ගත හැකිය.
මෝදිගේ තවත් වැදගත් රාජ්යතාන්ත්රික ආමන්ත්රණයක් ලෙස ඔහු ජය ශ්රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට යාම සැලකිය හැකිය. සැබවින්ම භාරතය හා ශ්රී ලංකාව අතර ඇති සම්බන්ධතාවයේ ප්රධානතම සලකුණ ජය ශ්රී මහා බෝධිය ලෙස සැලකිය හැකිය. ලෝකයේම අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් ඇති පැරණිම වෘක්ෂය මෙන්ම ඉතිහාසයේ භාරතය එක්සේසත් කළ එකම ස්වදේශීය අධිරාජයා විසින් සිය දියණිය අතේ එවන ලද රාජකීය සංකේතයක් බඳු ජය ශ්රී මහා බෝධිය තත්කාලීන භාරතීය නායකයා ලෙස පිළිගැනීමට ලක් කිරීම ඉතා වැදගත්ය. මෙහිදී තවත් වැදගත් නිරීක්ෂණයක් නම් මෝදි විසින් අටමස්ථානාධිපති හිමියන්ට දන නමා වැඳිමයි. ලොව තෙවැනියට බලවත් හින්දු නායකයෙකු විසින් බෞද්ධ භික්ෂුවකට දන නමා වැඳීම අපේක්ෂා කල නොහැකි පරිසිද්ධියක් නමුත් එයින් ගම්ය කෙරුණු සංදේශය බෝහෝ කලක් දෙරටෙහිම රැව් පිළිරැව් දෙනු ඇත. භාරතයෙන් ලද බෞද්ධ දර්ශනය සහ ලංකාවේ මුල් බැසගත් භාරතීය සංස්කෘතියේ ජීවමාන හරය වන සංඝයා රාජ්ය තාන්ත්රික වශයෙන් පිළිගැනීමට ලක්කිරීමක් ලෙසද මෙම ක්රියාව දැකිය හැකිය.
ඉතා පහල සමාජ ස්ථරයක සිට ලොව බලවත්ම පුද්ගලයන් අතලොස්ස අතර ප්රවිශ්ටව එම තත්වයේ රැඳී සිටින නායකයෙකු ලෙස නරේන්ද්ර මෝදි සතු කැපී පෙනෙන දේශපාලන පෞරුෂය ශ්රී ලංකාව වෙත විදහා දැක්වූ දින තුනක් ලෙස ඔහුගේ මෙම සංචාරය හැඳින්විය හැකිය. දේශපාලනික නායකත්වය හා රාජ්යතාන්ත්රික භාවය මූර්තිමත් කරන ආදර්ශමත් චරිතයක් ලෙස හඳුන්වාදිය හැකි මෝදි හුදෙක් ඇඳුමින් හෝ අභිනය විලාශයෙන් අනුකරණය නොකර ඔහුගේ රාජ්යතාන්ත්රික හරය තුළ අනුගමනය කරන්නේ නම් එය කවර වුවත් දේශපාලඥයෙකුට ස්ථිරව පොළවෙහි රෝපණය වීමට මග විවර කරනු ඇත.


No comments:
Post a Comment