අනාගත ඉරානයේ පුරාතන උරුමය




ඉරානයේ රෙජීම් වෙනසක් නොවන්නේ මන්දැයි ඇමරිකානු ජනාධිපතිවරයා ප්රසිද්ධියේ ප්රශ්න කරන පසුබිමක ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන පර්සියාවේ ඔටුන්න හිමි රේසා පාලවී කුමරු මාධ්ය සාකච්ඡාවක් පවත්වමින් සිය රටවැසියන් වෙනුවෙන් නායකත්වය දීමට තමා කැපවන බව ප්රකාශ කළේය. තමා ඉරානයේ හමුදා සාමාජිකයන් හා ආරක්ෂක අංශ නියෝජිතයන් වෙනුවෙන් තම කණ්ඩායම සමග රහසිගතව සම්බන්ධ විය හැකි සුරක්ෂිත සන්නිවේදන නාලිකාවක් ආරම්භ කර ඇති බවත් ඒ සමග සම්බන්ධ වෙමින් ඉරානයේ නව ප්රජාතන්ත්රවාදී රෙජීමයක් පිහිටුවීමට හවුල් කරුවන් වන ලෙසත් කුමරු මෙහිදී පළා යාමට සැරසෙන ඉරානයේ ඉහළ නිලධාරින්ට ආරාධනා කරයි. 1979 වර්ෂයේදී බලයෙන් පහකරන ලද මොහොමඩ් රේසා පාලවී අධිරාජයා ගේ පුත්රයාද රේසා ෂා අධිරාජයාගේ මුණුබුරාද වන මොහු සම්බන්ධයෙන් ඉරානයේ ජනතාවට සිහිගන්වන නොස්ටැල්ජියාව නව රෙජීමයක් පිහිටුවීමට ප්රමාණවත් වනු ඇත්දැයි ගැටළුවකි. නමුත් ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් සිය විරුද්ධවාදීන් තදින් මර්ධනය කරනු ලැබ ඇති බැවින් වෙනත් විකල්ප නායකත්වයක් ඉරානය තුළ හෝ ඉන් පිටත ශේෂ වී නැති පසුබිමක සිය පිය උරුමයෙන් අතීත පර්සියානු රාජ්යයට උරුමකම් කීමට රේසා කුමරු ඉදිරිපත් වීම පුදුමයක් නොවේ.
යම් හෙයකින් ඔහුගේ ව්යායාමය සාර්ථක වුව හොත් ඉරානයේ නැවත පැරණි රාජාණ්ඩුව පිහිටුවීමට අපේක්ෂාවක් ඔහු තුළ ඇති බවක් කථාවෙන් නිරීක්ෂණය නොවූවද ඉරානයේ ජනතාව විසින් අනාගත රාජ්යය කෙබඳු විය යුතුදැයි ජනමත විචාරණයකින් තීන්දු කළ යුතු බව ප්රකාශ කරයි. මේ හරහා 1993 බ්රසීලයේ පැවැත්වූ ජනමත විචාරණය වැනි ජනවරමක් හරහා නැවත රාජාණ්ඩුව ගෙන ඒමට ඔහු අපේක්ෂා කරනු ඇතැයි උපකල්පනය කිරීමටද හැකිය.
ඉතිහාසය විමසා බැලීමේදි පෙර සිහසුනෙන් නෙරපන ලද රජුන් නැවත ප්රාජාතාන්ත්රිකව හෝ බාහිර බලවේගයක් මගින් බලයට ගෙන ඒම කොතෙකුත් දැකිය හැකිය. 1946 දී සිහසුනෙන් නෙරපූ බල්ගේරියාවේ දෙවන සිමියොන් රජු 2001 වසරේදි මහජන ඡන්දයෙන් එරට අගමැති වරයා වූ අතර නැවත රාජාණ්ඩුව පිහිටුවීමට ඔහු උත්සාහ නොකළේය. 1970 දි පොල්පොට් විසින් බලයෙන් පහ කළ කාම්බෝජ රාජාණ්ඩුව නැවත 1991 පැරිස් සාම ගිවිසුම හරහා නොරොදොම් සිහනූක් කුමරුගේ මූලිකත්වයෙන් පිහිටුවන ලදී. ස්පාඤ්ඤයේ ඒකාධිපති ෆ්රැන්කෝගේ මරණින් පසු පැරණි රාජාණ්ඩුවේ උරුමක්කාරයා වූ ජුවාන් කාලෝස් කුමරු සාමකාමීව බලයට පත් වී ස්පාඤ්ඤය නැවත ප්රජාතන්ත්රවාදී මාවතට යොමු කළේය.
ඉරාන - ඊශ්රායල යුද්ධයට මේ වන විටත් සක්රියව ජාත්යන්තර මැදිහත්වීම සිදුවන බැවින් අනාගතයේ කවරක් සිදුවේදැයි පුරෝකථනය කළ නොහැකි නමුත් ඉරාන ජනතාවගේ ආරක්ෂාව , ආර්ථික පුනර්ජීවනය හා නිදහස වෙනුවෙන් වන නිහඬ ඉල්ලීමට පළමුව ප්රතිචාර දැක්වීමට රේසා කුමරු සමත් වී තිබේ. ඇමරිකාවේ වාසය කරන පැරණි රජ පවුල ට්රම්ප් ජනපති විමසා සිටින ඉරානයේ රෙජීම වෙනස ඇති කිරීමට ප්රමුඛ විකල්පය ලෙස රාජ්යතාන්ත්රීයව භාවිතා වනු ඇති බව පැහැදිළි සත්යයකි. ඉතිහාසයේ සිදුවී ඇති පරිදි ඉරාන ජනතාවගේ ජන මතයත් ජාත්යන්තර සහයෝගීතාවත් නිසි පරිදි ලැබේ නම් සහස්ර ගණනාවක් පැරණි පර්සියානු රාජාවලිය නැවත ඉරානයේ ප්රවර්තනය වනු ඇත.

 භික්ෂුණී උපසම්පදාවට ලැබුණු නීතිමය පිළිගැනීම




රංගිරි දඹුලු පාර්ශ්වයේ වැලිමඩ ධම්මදින්නා මෙහෙණින් වහන්සේගේ ජාතික හැඳුනුම්පතෙහි "සිල් මාතා" වෙනුවට "භික්ඛුණි" යැයි යොදන ලෙස ගරු ශ්රේෂ්ටාධිකරණය පසුගියදා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වෙත නියෝග කරන ලදී. මේ තීන්දුවට පදනම් වූ කරුණ නම් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යම් කාල සීමවක් තුළ ඇතැම් මෙහෙණින් වහන්සේ වෙත භික්ෂුණී යැයි සඳහන් වන හැඳුනුම්පත් නිකුත් කර තිබුණද ශාසනික විරෝධතාවක් හමුවේ එලෙස හැඳුනුම්පත් නිකුත් කිරීම නවත්වන ලෙස චක්රලේඛයක් නිකුත් කර තිබීමයි. මේ හරහා අදාල පෙත්සම්කාරියගේ සාධාරණ අපේක්ෂාව අධිකරණයේ අවධානයට යොමුවූ අතර අදාල චක්රලේඛය මගින් ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 12(1) වගන්තියේ සඳහන් සමානාත්මතාවයේ අයිතිය උල්ලංඝණය වන බව විනිශ්චය කරන ලදී.
මෙම නඩු තීන්දුව විශේෂ වන්නේ හැඳුනුම්පතක් නිකුත් කිරීම නිසා නොව ශ්රී ලංකාව තුළ පිළිගත් භික්ෂුණී ශාසනයක් පවතින බවට භෞතික පරිසිද්ධි පවතින බව අධිකරණයේ මතය වීම නිසාය. 1998 වසරේදි පිහිටුවනු ලැබූ රංගිරි දඹුලු පාර්ශ්වීය මෙහෙණි උපසම්පදාව දරන 3000 ක් පමණ මෙහෙණින් ලංකාවේ වැඩ සිටීම, සැලකියයුතු ගිහි උපාසක ප්රජාවක්වෙත ආගමික සේවය ලබාදීම , රංගිරි දඹුලු පාර්ශ්වය විසින් පිළිගනු ලැබීම හා පෙරදී භික්ෂුණී ලෙස සඳහන් හැඳුනුම්පත් , උපාධි සහතික නිකුත් කර තිබීම වැනි කරුණු මත පදනම්ව ශ්රී ලංකාව තුළ ප්රායෝගික වශයෙන් භික්ෂුණී ශාසනය පවතින බව අධිකරණයේ මතය වී ඇත. ලංකාවේ වසරකට සැලකිය යුතු ප්රමාණයක් මෙහෙණි උපසම්පදා සිදුවී ඇති අතර කිසිඳු නිකායක මහානායක ස්වාමින් වහන්සේ ඒ කෙරෙහි විරුද්ධ නොවීමත් උපසම්පදාවට එරෙහිව කිසිඳු නෛතික හෝ චාරිත්රානුකූල තහනමක් උපලබ්ධ වී නොතිබීමත් අධිකරණයේ අවධානයට ලක්ව තිබේ.
මේ සම්බන්ධයෙන් වග උත්තර කාර පාර්ශ්වය විසින් භික්ෂුණී ශාසනය පිළිගැනීම ථේරවාද විනයට පටහැනි බැවින් ආ.ක්ර.ව්ය. 9 වන වගන්තිය ප්රකාරව බුදු දහම පෝෂණය කර රැක ගැනීමේ රජයේ වගකීම මත භික්ෂුණී හැඳුනුම්පත් නිකුත් නොකිරීම ප්රතික්ෂේප කළ අධිකරණය ආ.ක්ර. ව්ය ව්යවස්ථාවේ 14(1) ප්රකාරව භික්ෂුණී උපසම්පදාව ලැබීම හා භික්ෂුණියක් ලෙස පිළිගනු ලැබීම පුරවැසියෙකුගේ ආගමික නිදහසේ මූලික අයිතිවාසිකමක් වන හෙයින් ඒ සඳහා රජයේ මැදිහත්වීම අදාල අයිතිවාසිකම උල්ලංඝණය කිරීමක් ලෙස අර්ථදක්වන ලදී. බෞද්ධ විහාර දේවාලගම් පනතේ භික්ෂුණීන් පිළිගෙන නොමැති වීම සම්බන්ධයෙන් 1901 අංක 21 දරන අර්ථ නිරූපණ ආඥාපනතේ 2 (11) වගන්තියේ එන පුරුෂ ලිංග නාමපද මගින් ස්ත්රී ලිංගික සමරූපය වරනැගීම හරහා "භික්ෂු" ශබ්දයෙන් "භික්ෂුණීන්" අර්ථදැක්වෙන බව අධිකරණය තීන්දු කරන ලදී.
වග උත්තරකාර පාර්ශ්වය ව්සින් ඉදිරිපත් කරනලද "කෙසෙල්වතුගොඩ චන්දන හිමි එ. සිරිමල් වත්තේ ආනන්ද මහානායක හිමි " නඩුවේ පූර්වාදර්ශය නම් ආගමික පැවිද්ද සම්බන්ධ වූ ගැටළු අධිකරණ මගින් නොව ඒ ඒ ආගමික සංස්ථාව විසින්ම විනිශ්චය කරනු ලැබිය යුතු වීමයි. ඒ අනුව පැවිද්ද සම්බන්ධ කරුණු ස්වකීය අධිකරණ බලයට යටත් නොවන බව පිළිගත් අධිකරණය මෙම ගැටළුව පැවිද්ද සම්බන්ධ වූවක් නොව අනන්යතාවය හා නොසළකාහැරීම සම්බන්ධ ගැටළුවක් විනා බෞද්ධ විනය අර්ථකථනයක් නොවන බව ප්රකාශ කරන ලදී. නමුත් මේ සම්බන්ධව විසම්මුතික තීරණයක් ඉදිරිපත් කළ සමයවර්ධන විනිසුරු මේ හරහා ප්රවෘජ්යෙෂ ප්රශ්නයක් උද්ගතවන බවත් එය අධිකරණය විසින් නොව මහානායක ස්වාමින් වහන්සේලා විසින් විනිශ්චය කරනු ලැබිය යුතු බවත් සිය විසම්මුතික තීරණයේදී සඳහන් කරන ලදී. මහානායක ස්වාමීන් වහන්සේලා විසින් ඉදිරිපත් කරනු ලැබූ විරෝධතා ලිපිය, පරිපාලන ක්රියාවන් නිසි ලෙස ඉටු කොට තිබීම හා ආ.ක්ර.ව්ය. 9 හා 16 වගන්තිද මෙම විසම්මුතික තීරණයට පදනම්වී ඇත.
මෙම ශ්රේෂ්ටාධිකරණ තීන්දුව පරිපාලනමය නොසළකාහැරීමක් සම්බන්ධ තීන්දුවක් මිස ථෙරවාද බෞද්ධ විනය අර්ථනිරූපණයක් නොවූවත් ඒ හරහා සෘජුවම මහායානික භික්ෂුණී උපසම්පදාවට නෛතික පිළිගැනීම ලැබුණු බව පිළිගත යුතුය. අෂ්ටගරුධර්ම මත පදනම් වන භික්ෂුණී උපසම්පදාව අඛණ්ඩව හා අවිච්ඡින්නව කිසිඳු ථේරවාද සම්ප්රදායක නොපවතින අතර චීනය , තායිවානය යන රටවල ධර්මගුප්තක විනය මත පදනම්වන මහායානික භික්ෂුණී උපසම්පදාවක් භාවිතය හෝ ලියාපදිංචිය හරහා ථේරවාදකරණය කළ නොහැක. නමුත් ශ්රී ලංකා ආණ්ඩු ක්රම ව්යවස්ථාවේ බුදු දහම මිස ථේරවාද බුදු දහමක් ගැන සඳහනක් නොවන බවත් මෙහි ලා වටහා ගැනීම සුදුසුය. වාච්යාර්ථයෙන් සසරේ බිය දකින්නාම භික්ෂුව වන්නේය (සංසාරේ භයං ඉක්ඛතීති භික්ඛු ) ඒ අනුව භික්ෂු ශබ්දයේ ඕලාරික නීති අර්ථකථන වලින් ඔබ්බෙහි පවතින ලෝකෝත්තර අර්ථයම ඔප්නංවා ගැනීමට බුද්ධවචනයෙහි හික්මෙන කවරෙකු වුවත් උත්සාහ කිරීම ප්රතිපත්ති සාසනයේ පැවැත්මට උපකාර වනු ඇත.

ජෛවීය පුරා වස්තු වල විද්‍යාත්මක සත්‍යාපනය: ටියුරින් හි ශ්‍රී සළුව හා III වන රිචඩ් රජු



තම ආදිතමයන්ගේ ශාරීරික හෝ පාරිභෝගික වස්තු ආරක්ෂා කිරීම මිනිස් සමාජයේ අද ඊයේ පහළ වූ සිරිතක් නොවේ. වසර 60000 ට පෙර නියැන්ඩතාල් මානවයන් පවා එවැනි සිරිත් විරිත් අනුගමනය කළ බවට සාධක ඇත. මෙය මිනිසුන්ගේ කෘතඥ භාවයේ සංස්කෘතික ලක්ෂණයක් වන අතර එවැනි සංස්කෘතීන් සැම කල්හි සැම තැන පැවති හෙයින් එය ප්රවේණික, අපගේ ජාන වලින්ම එන ගතිගුණයක් බව කිව හැකිය. කෙසේ වුවත් කුතුහලය නිසා සැකය ඇතිවීම යන ලක්ෂණය මිනිස් සිත තුල සංතෘප්ත කිරීම සඳහා නොසිතන තරම් දුර ගමන් කිරීමට Homo sapiens නම් වූ සත්වයාට තවත් ජාන පවතින පවතින බව අතීතයේ සිට සත්ය සෙවීමට මිනිසා දැක්වූ උද්යෝගය හා වීර්යය තුළින් නිරීක්ෂණය වේ. වනසතුන් මෙන් සිට අභ්යවකාශගත වීම දක්වා අපගේ ශිෂ්ටාචාරය මෙලෙස හැඩ ගැස්වීමට ඒ සත්ය සෙවීමේ නොනවතින කුතුහලයත් සත්ය කවරක් වුවත් කෘතඥතාව මානව දයාව වැනි ගුණාංග ඉස්මතු කරලීමේ සංස්කෘතික ලක්ෂණයත් අතර සමබර තාවය ඉවහල් වී ඇත.
මේ ලෝකයේ කිසිම මනුෂ්යයෙකු පරීක්ෂණයකින් තොරව කිසිවක් අදහා නොගනී. සමහර අයට දෙයක් විශ්වාස කිරීමට ඉතා සුළු මට්ටමේ වාස දේස ඇසීමක් ප්රමාණවත් නමුත් තවෙකෙකුට එසේ නොවිය හැක. සුළු පිරිසකට මොනතරම් පරීක්ෂණ කළත් ඒවායේ දෝෂම පෙනෙනවා විය හැක.එය බුදු බණේ සඳහන් වන " නානත්ථ කාය නානත්ථ සංඥා " ධර්ම පර්යායට නිදර්ශනයකි. එබඳු වෙනස් මිනිසුන් සිටින ලෝකයක ජීවත් වන්නේ නම් ඒ සියළු අදහස් වලට සවන් දෙමින් ගරු කරමින් ජීවත් වන්නට සිදුවේ. එසේ නොමැතිනම් සැම දෙනා එක ලෙස සිතන " ඒකත්ථ සංඥා" ලෝකයක ඉපදීමට කටයුතු කරන්නට වනු ඇත. මිනිසුන් අතර ඉමහත් පූජනීයත්වයට පත් වූ ශාස්තෲවරුන්ගේ ස්මරණය උදෙසා වන ශාරීරික හෝ පාරිභෝගික වස්තූන් පවා පරීක්ෂණයට බඳුන් නොකර පිළිගැනීමට ඇතමෙක් පසුබට වෙති. විද්යාත්මක දියුණුව සමග එම සංඛ්යාව ක්රමයෙන් වැඩි වනවා මිස අඩු වන්නේයැයි සිතීම අනුවණ කමකි.
ජේසුස් වහන්සේගේ මලවුන් අතරින් උත්ථානය වීම මත සමස්ත කිතුණු ධර්මයම රැඳී සිටී. උන් වහන්සේගේ ශ්රී දේහය සොහොන් ගැබෙහි තැන්පත් කිරීමේදී ඔතනු ලැබූ වස්ත්රය යැයි කියනු ලබන සුදු රෙදි කඩක් ඉතාලියේ ටියුරින් නුවර සියවස් ගණනාවක් තිස්සේ පූජාවට පාත්ර වේ. මේ සළුව සත්ය ලෙසම ජේසුස් වහන්සේගේදැයි සැක පහල කරන ජන සංක්යාව වැඩි බව හැඟුණු හෙයින් කතෝලික පාලනාධිකාරිය මෙය විද්යාත්මකව සත්යාපනය කිරීමට එකඟ විය. මෙවැනි පුරාවස්තුවක් විද්යාත්මකව සත්යාපනය කිරීමේදී අපේක්ෂා කරන්නේ මොනවාද යන්න පිළිබඳ වාස්තවික ප්රශ්න හා විද්යාවෙන් ලබාදිය හැකි පිළිතුරු පළමුවෙන් ගොඩ නගමු.
1. මෙය ජේසුස් වහන්සේ ජීවමාන වූ සමයට ආසන්නව සමාන වේද? - විද්යාවෙන් පිළිතුරු දිය හැක. විකිරණශීලී (කාබන් ) සමස්ථානිකමිතියෙන් කාබන් බහුඅවයවිකයක් වන රෙදි වල තන්තු වල C14 හා C 12 සමස්ථානික අනුපාතය පිරික්සීමෙන් ඉතා නිවැරදි පරාසයක් තුල නිගමනය කළ හැක. (C14 විකිරණශීලි බැවින් ගණිතමය ලෙස අපෝහණය කළ හැකි පරිදි නෙලාගත් දින සිට ක්රමයෙන් ක්ෂය වෙන නිසා )
2. මෙයින් ආවරණය කරන ලද්දේ මිනිස් සිරුරක්ද? - විද්යාවෙන් පිළිතුරු දිය හැක. රෙදිකඩෙහි ඇති ලේ පැල්ලම් වලින් ලබාගන්නා නියැදියක් හරහා එම රුධිරය මිනිස් ලේද , කවර රුධිර ගණයකට අයත්ද යන්න නිර්ණය කළ හැකිය.
3. මෙයින් සැබවින්ම ජේසුස් වහන්සේගේ සිරුරම ආවරනය කරන ලද්දේද? - විද්යාවෙන් පිළිතුරු දීම අපහසුය. ජේසුස් වහන්සේගෙන් අවිච්ඡින්නව පැවත එන බවට හඳුනාගත් පුද්ගලයෙක් නොමැති හෙයින් හා විශාල පරම්පරා සංඛ්යාවක් ඉකුත්ව ගොස් ඇති බැවින්ද සැසඳීම සඳහා නිදර්ශකයක් නොමැති හෙයිනි. DNA නිස්සාරණය කර ගුණනය කර විවිධ ජනවර්ග වල ජාන කිටු (Y haplogroups , Mt DNA ) සමග සංසන්දනයෙන් කවර ජන වර්ගයකට අයත් වන්නට ඇත්දැයි නිමානය කිරීමේ ශක්යතාවයක් පවතී.
1988 දී සිදුකරන ලද Radio Carbon Dating මගින් ටියුරින් ශ්රී සළුවේ පවතින සෙලියුලෝස් තන්තු ක්රි.ව, 1300 වැනි කාලසීමාවක කපු ගස් ලෙස තිබූ බව තහවුරු වූ අතර ඒ අනුව මෙය මධ්යතන යුගයේ වියන ලද සළුවක් බව තහවුරු විය. මෙහි ලේ පැල්ලම් වල ඇති ලේ සත්ය මිනිස් රුධිරය බවත් ඒවා AB ගණයට අයිති බවත් තහවුරු විය. ආසන්න කාලයකදී සිදු කරනු ලැබූ DNA පරීක්ෂණ මගින් මෙහි ඇති Mitochondrial DNAලොව බොහෝ ප්රදේශ වල .Haplogroups හා සමපාතවන බව සොයාගන්නා ලදී. මෑතකාලයේදී සිදුකරනු ලැබූ තවත් පර්යේෂණ වලින් සොයාගෙන ඇත්තේ මෙම ලේ පැල්ලම් කිසිම ආකාරයක පින්සලකින් පින්තාරු කර නැති බවයි. කුමන අයුරකින් මෙම රටා ඇති වූයේද යන්න තවම විද්යාව මගින් සොයා ගත නොහැකි වී ඇත.
ඉතින් මේ සොයා ගැනීම් නිසා ටියුරින් ශ්රී සලුව තැන්පත් කර ඇති දේවස්ථානයට ජනතාවගේ පැමිණීම අඩු වුණාද? නැත . ඇත්තෙන්ම තවත් වැඩිවීමක්ම නිරීක්ෂණය විය. අපේ Homo Sapiens මනුෂ්යවර්ගයාගේ විචිත්රත්වය නම් එයයි.



මෙබඳුම තවත් පරීක්ෂණයක් එංගලන්තයේ තුන් වන රිචඩ් රජුගේ අස්ථි කොටස් සත්යාපනය සඳහා සිදු කරන ලදී. එංගලන්තය පාලනය කළ ප්ලැන්ටජනට් රාජ වංශයේ අවසාන පුරුක වූ තුන්වන රිචර්ඩ් රජු 1485 වර්ෂයේදි මිය ගිය අතර ඔහුගේ එක් කකුලක් කොරගසන බව ශේක්ස්පියර්ගේ නාට්යවලද දක්වා ඇත. ටියුඩර් රාජ වංශය ආරම්භ කරමින් හත්වන හෙන් රි රජු විසින් ඔහුත් ඔහුගෙන් පැවත එන සියලු ඤාතීනුත් ඝාතනය කරන ලදී. තුන් වන රිචඩ් රජුගේ සිරුර රහසිගතව මිහිදන් කරල ලද අතර එම ස්ථානය ඉතා සුළු පිරිසක් දැන සිටියහ. 2012 වර්ෂයේදි බ්රිතාන්ය පුරාවිද්යාඥයන් පිරිසක් එම ස්ථානයේ කැනීම් සිදු කර මිනිස් සිරුරක අස්ථි හඳුනාගත් අතර මේවා තීව්ර විද්යාත්මක පරීක්ෂණ වලට ලක්කරන ලදී.
වෝහාරික විද්යාත්මක පරීක්ෂන මගින් අදාල පුද්ගලයා පුරුෂයෙකු බවත් එක් කකුලක කොරයක් සහිත යුද්ධයේදි කඩු පහර ලත් අයෙකු බවත් තහවුරු විය. ඇතමෙකුට මෙයම මේ අස්ථී තුන් වන රිචඩ් ගේ බව සනාථ කර ගැනීමට ප්රමානවත් විය හැක. නමුත් තවදුරටත් පරීක්ෂණ කළ විද්යාඥයෝ ඇටමිදුළු හා දත් වලින් මයිට කොන්ඩ්රීය DNA නිස්සාරණය කළ අතර තුනවන රිචර්ඩ් රජුගේ මව් ප්පාර්ෂ්වයෙන් පැවත එන පුදගලයන් දෙදෙනෙකු වංශ පරම්පරා සටහන් වලින් හඳුනාගෙන ඔවුන්සමග සංසන්දනය කරන ලදී. පිළිතුර වූයේ ඉතා හොඳින් ගැලපීමයි. මෙයින් සත්ය ලෙසම මේ තුන්වන රිචඩ් රජුගේ ශරීරාවශේෂ බව නිගමනය කළ හැකි විය. ( Y ක්රොමසෝමය හරහා පිය පාර්ශ්වඉක ඥාතීන් සමග සංසන්දනය කිරීමේදී ඒවා නොගැලපුණු අතර පසුව මේ පිය පාර්ශ්වික ඥාතීන් සාවද්ය ලෙස රජ පවුලට නෑකම් සාදාගත් අය බවත් සියළු පිරිමි ඥාතීන් VII හෙන්රි විසින් ඝාතනය කරන ලද බවටත් ලේඛනගත සාක්ෂි හමු විය )
දත් වල හා පර්ශු වල ස්ථායී සමස්ථානික විශ්ලේෂණය හරහා මෙම පුද්ගලයා ලබාගත් ආහාර වර්ගද නිමානය කරන ලදී ඒ අනුව අතිශය පෝෂ්යදායී මාංශ බහුල ආහාර ලබාගත් පුද්ගලයෙකු බවත් හංස මාංශ පවා ආහාරයට ගන්නට ඇති බවත් විද්යාතමකව තහවුරු කරන ලදී. 15 වන සියවසේ මෙවැනි ආහාර වේලක් ලබාගත්තේ සමාජයේ ඉතා ඉහළ ප්රභූ පංතියේ අය පමණක් වන අතර හංස මාංශය ඉංග්රීසි නීතියෙන් රජුට පමණක් වෙන්වූ ආහාරයක් විය. මෙයින් මේ අස්ථි තුන්වන රිචර්ඩ් රජුගේ බව තවත් තහවුරු වූ අතර දෙවන එලිසබෙත් රැජිණගේ අනුමැතියෙන් රාජකීය අවමංගල්යෝත්සවයක් පවත්වමින් 2015 වර්ෂයේදී ලෙයිසෙස්ටර් දේවස්ථානයේ භූමදාන කරන ලදී.
මිනිසා තුල ඇති සත්ය දැන ගැනීමේ නොතිත් ආශාව සංතර්පණය කිරීමට සංස්කෘතිය බිල්ලට දිය යුතු යැයි නියමයක් නැත. නමුත් මිනිසා මිහිමත ජීවත්ව සිටින තාක් මානව ශිෂ්ටාචාරය වම් හා දකුණු මස්තිෂ්ක අර්ධ ගෝල දෙකිහි අනවරථ විවාදය තුල පවතින මේ සංවාදය තුළින්ම හැඩගස්වනු ඇත.



රටේ රජුන්ට වඩා – සිතේ රජෙක් වූ දලදා වහන්සේ


ථූපාරහ සූත්රයේ බුදුරජාණන් වහන්සේ දක්වා ඇති පරිදි සම්මා සම්බුද්ධ, ප්රත්යේක බුද්ධ , මහ රහත් හා චක්රවර්ති රජුන් යන සතර වර්ගයාගේ ශාරීරික ධාතු තැන්පත් කර ස්ථූප ඉදි කිරීම මේ ලෝකයේ සිරිතකි. කාශ්යප සම්බුදුරජාණන්ගේ ආදාහනයේදී චිතකයේ ඉතිරි වූයේ එක් රන්වන් පැහැති ධාතුවක් පමණක් බව කියනු ලැබේ. එය සියළු දීර්ඝායුෂ්ක බුදුවරුනට පොදු ධර්මතාවයකි. එලෙස ශේෂ වන ධාතුව බෙදා ගැනීමක් නොවන හෙයින් සියළු දෙව් මිනිසුන් එක්ව තථාගතයන් උදෙසා එකම එක ස්ථූපයක් ඉදි කරති. බොහෝ විට ඒ රන් වලිනි. එලෙස ඉදි කළ ස්ථූපය ඒ කල්හි වාසය කරන දීර්ඝායුෂ්ක මනුෂ්යයෝ වැඳ පුදාගනිති. නමුත් අල්පායුෂ්ක බුදු වරුන් ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් ස්වකීය ධාතු විසිරී යාමට අධිෂ්ටාන කරන අතර ඒ අනුව අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු තල ඇට , සහල් ඇට හා මුංඇට ප්රමාණයට බිඳී විසිරී ගිය බව සඳහන් වේ. ඒ අතරින් ලේඛන ගතවූ නොබිඳී ගිය ධාතු 7 කි. බුදුරජාණන් වහන්සේගේ ලලාටාස්ථිය අක්ෂකාස්ථිද්වය හා සතරක් වූ දංෂ්ට්රා ධාතු යනු ඒවාය.

ශාරීරික ධාතු යනු ලංකාද්වීපයට ආගන්තුක වූ අත්භූත දෙයක් නොවේ. තථාගත අධිෂ්ටානයෙන් ධාතු විසිරී ගියේ සකල ලෝකයේම සත්වයාට වන්දනාකරනු පිණිස වුවත් බුද්ධ පරිනිර්වාණයෙන් වසර තුන්සියයක් යන්නට පෙරම එම සියළු ධාතූන් වහන්සේලා අතරින් අතිමහත් බහුතරය මේ කුඩා ලංකාද්වීපය තුළම නිධන්ගත විය. ඉන් අඩක්ම රුවන්මැලි සෑයේ නිධන්ගත වී ඇත. ඒ අනුව ශ්රී ලංකාදීපය වනාහි මේ ලෝකයේ බුදුන් වෙනුවෙන් කළා වූ ධාතු මන්දිරයක් වැනිය. ලේඛනගත මූලාශ්රවලට අනුව ලංකාදීපයෙන් පිට කිසියම් හෝ සර්වඥ ධාතුවක් ඇත්තේ නම් ඒ ඉතා ස්වල්ප වශයෙන් විය යුතුය. මේ ශාරීරික ධාතූන් වහන්සේලා අතරින් ඉතාමත් පසු කාලයේදී ලංකාව වෙත වැඩමවන ලද ධාතුවක් වේ නම් ඒ වත්මන් දලදා මාලිගාවේ තැන්පත් කර ඇති වම් දලදා වහන්සේය. (මින් පසුව ලංකාවට ආගන්තුකව ශාරීරික ධාතු වැඩමවන ලද්දේ නම් ඒ පුරාවිද්යා කැනීම් වලින් සොයාගත් කපිලවස්තු ධාතූන් විය යුතුය ) හේමමාලා කුමරිය කලිගු රටින් දලදාව ලංකාවට ගෙන ඒම පුත්තලමට ලුණු ගෙනාවා හා සමාන වන්නේ එනිසාය. කිත්සිරිමෙවන් රජ දවස කලිඟු රටින් වඩමවන ලද දලදා වහන්සේ දුටු පමණින් ආශ්චර්ය අත්භූත වස්තුවක් ලෙස එය පිළිගැනීමට එවක රජකම් කළ සිරිමේඝවණ්ණ රජතුමා මැලි වූ බව දාඨා වංසයේ 362 ගාථාවෙන් පෙනේ.

රාජා තතො මහතියා පරිසාය මජ්ජෙ - ඉච්චබ්රවී මුනිවරොහි සුසුක්ක දාඨො
දාඨා ජිනස්ස යදි ඕසධිතාරකාච - සේතාභවෙය්ය කිමයං මලිනාව දාඨා

මහ පිරිස මැද සිට කිත්සිරි මෙවන් රජු ප්රකාශ කළේ අපේ බුදු රජාණන්වහන්සේගේ දලදාව නම් සිකුරු තරුව මෙන් ඉතා සුදුය මේ කිලිටි වී ගිය දත කුමක්ද යන්නයි. ඒ අවස්ථාවේදී දලදාවහන්සේගේ පෙළහර පෑම සහ ඉන් පසු අවස්ථා කීපයකදීම එලෙස සුදු පැහැති රැස් විහිදවීම දාඨා වංසයේ හා චූල වංසයේ සඳහන් වී ඇත. මේ පෙළහර නිසා හෝ අනෙක් සර්වඥ ධාතූන්ට මෙන් දලදා වහන්සේට ලංකාදීපයේ ථූපයක් ඉදි නොවිණි. එය ධාතු මන්දිරයක තැන්පත් කරන ලද අතර නොබෝ කලකින්ම දලදා වහන්සේගේ ආගමික වැදගත්කම අභිබවා අතිශය ප්රබල දේශපාලනික වැදගත්කමක් ආරෝපණය වීමට එය හේතුවූ බව නිසැකය. මෞර්ය අධිරාජ්යයේ ක්ෂත්රිය අභිෂේකය සමග අන්තර්ජාතිකව ස්වෛරී රාජ්යයක් ලෙස පිළිගැනීම ලැබුණු ලංකා රාජ්යයේ අද දක්වාම පවතින රාජ්යත්වයේ සංකේතය ජය ශ්රී මහා බෝධියයි. සුවිශේෂී ජීවමාන සංකේතයක් වුවත් ජංගම වස්තුවක් නොවීම කරණ කොට විශේෂයෙන්ම පොළොන්නරුව යුගයේ සිට රාජ්යත්වයේ සංකේතය ලෙස දලදාව අවිවාදයෙන්ම පිළිගන්නා ලදී.

වරින් වර දේශීය හා විදේශීය රාජකීයයන් විසින් පැහැර ගන්නා ලදුව මේ සිංහල ද්වීපයේ දළදා වහන්සේ තරම් අපහරණය කලාවූත් පීඩා කලාවූත් වෙනත් කිසිදු ධාතුවක් නැත. අනෙක් සර්වඥ ධාතූන් ධාතු ගර්භයන්හි දෙව් මිනිසුන්ගේ පූජාවන්ට භාජනය වෙද්දී දලදාව කුරහන් ගල් අස්සේද , සිවුරු වාටි අස්සේද තථගත සාරීරික ධාතුවකට අයෝග්ය වූ නොයෙක් ස්ථාන වලද අල්ප වූ පූජාවන් ලබන්නටත් අනේක වූ සැකයන්ට භාජනය වෙමින් කිණිහිරි මත සිට තැලෙන්නටත් ගල් අඟුරු ගොඩවල දැවෙන්නටත් භාජනය වූ බව සියලුම ලිඛිත මූලාශ්ර සාක්ෂි දරයි. මෙතරම් පරීක්ෂාවන්ට හෝ උපද්රව වලට එදා මෙදාතුර ලංකාවේ කිරුල දැරූ කිසිදු කුමාරයෙක් හෝ දේශපාලකයෙක් භාජනය වී නැති අතර ලක්දිව අජීවමාන රජු ලෙස ජනතාව සිතින් දලදා වහන්සේ වැලඳගත් බව ඉතිහාසය ගවේෂණයේදී පෙනීයයි. සත් දිනකින් පහළවන්නට තිබූ චක්රවර්ති රාජ්යය ප්රතික්ෂේප කළ ඒ මහා පුරුෂයාගේ දන්තධාතුව ලංකාවේ පාලකයන් එදා සිට අද දක්වා යුධ කැරලි කුමන්ත්රණ හරහා දේශපාලනික කූටෝපාය තුළ අපහරණය කිරීම කෙතරම් සදාචාරාත්මකදැයි නියම බෞද්ධයෙකුට ප්රශ්නයක් ඇති විය හැකි නමුත් සිංහල බෞද්ධ අනන්යතාව තුළ අදත් අනාගතයේත් දළදා වහන්සේ තරම් ආනුභාවාත්මක ලාංඡනයක් බිහි නොවනු ඇත.
සෑම සංස්කෘතික රාජ්යයකම පාහේ රාජ්යත්වයේ සංකේත දැකිය හැකිය. ප්රංශයේ ශුද්ධ ඇම්පූලය , ඔස්ට්රියාවේ ශුද්ධ වූ තෝමරය , ස්කොට්ලන්තයේ ඉරණම් ගල හා ජපානයේ ත්රිවිධ කකුධ භාණ්ඩ වැනි දේශීය විඥාණයේ සනිටුහන් වූ වස්තූන් පැවතියද ශ්රී ලංකාවේ දන්ත ධාතුව මෙන් ප්රබල ලෙස රාජ්යත්වයට බලපෑම් කල හැකි කකුධ භාණ්ඩයක් හමුවන්නේ නම් ඒ ටින් ටින් ප්රබන්ධයේ සිල්ඩේවියාවේ ඔටෝකා සෙංකෝලයයි. මේ බව වටහාගත් ඉංග්රීසි ආණ්ඩුකාර බ්රවුන් රිග් ඒ පිලිබඳ එංගලන්තයේ යටත්විජිත භාර ලේකම් වෙත ලියා යවන ලද ලිපි වල දලදාවේ දේශපාලනික වැදගත්කම විස්තර කර ඇති අතර බ්රිතාන්ය පාලන සමය තුළදී දළදා වහන්සේ වෙනුවෙන් ඉටු කල යුතු සියළු පිළිවෙත් සත්කාර නිසි අයුරින් වඩාත් සංවිධානාත්මකව ඉෂ්ටවූ බව නිරීක්ෂණය වේ.
ධම්මපදයේ 195 හා 196 ගාථාවල සඳහන් වන පරිදි කාශ්යප බුදුරජාණන්වහන්සේගේ ධාතු පරිනිර්වාණයට ලක්වූ ශූන්ය වූ ස්වර්ණ චෛත්ය තිබූ තැන ඉදි කළ දේවාලයට කිසිවක් නොදැන වන්දනා කළ අබෞද්ධයාට පවා පිනක් සිදු විය. ඒ අනුව ධර්මානුකූලව ගෞතම බුදුරජානන් වහන්සේගේ ධාතු පරිනිර්වාණය තවමත් සිදු වී නැති හෙයින් උන් වහන්සේගේ ධාතු වන්දනාකිරීමෙන් රැස් කරගත හැකි පින අප්රමාණය. අච්ඡරිය මනුස්ස නම් වූ බුදුරජාණන් වහන්සේගේ ගුණ ස්කන්ධය සිහි කොට හට ගන්නා ශ්රද්ධා සිතින් කවර වස්තුවකට වුවද කරන නමස්කාරය චේතනාව කර්මය වන හෙයින් අභිධර්මානුකූලව මහත්ඵල වේ. එසේ හෙයින් දලදා වහන්සේ වන්දනා කිරීමේදී පින් කැමති සැදැහැවතුන් තථාගතයන් වහන්සේගේ අනන්ත ගුණ සිහි කොට රැස්කර ගන්නාවූ සියලු කුසල් මාද සැදැහැ සිතින් යුක්තව අනුමෝදන් වෙමි.
No photo description available.
All reactions:
s

නීතියේ දෙවඟන සන්නද්ධ කිරීම : අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත

 



දූෂණ මර්දනය සඳහා ලංකාවේ යුක්තියේ දෙවඟනට තිබුණේ පලිහක් පමණි එයද එහෙන් මෙහෙන් පූට්ටු කරන ලද ලෝහ තහඩු වලින් සමන්විත, සිදුරු විසිදුරු වුණු නමුත් පලිහක් යැයි කිව හැකි වූ ආවරණයකි. නමුත් මෙවර ඇගේ හස්තයට නවතම පලිහක් මෙන්ම අසිපතක්ද ලබාදී ඇත. ඒ පසුගියදා සම්මත වූ 2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ (තවම කෙටුම්පතකි ) පනත හරහාය. මෙවන් පනතක අවශ්‍යතාවය මෙරට පරමාධිපත්‍ය හිමි ජනතාව කෙරෙන්ම කාන්දු වූ අදහසක් බව කිවමනාය. 2022 ජන අරගල සමයේ ප්‍රධානම ජනතාභිලාෂය වූයේ රාජ්‍ය දේපල කොල්ලකෑ බව කියන පුද්ගලයන්ට නිසි දඬුවම් පැමිණවීම හා එම දේපල නැවත ජනසතු කිරීමයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කරනු ලැබූ මාර්ගෝපදේශ හරහාද මෙවන් ප්නතක් බිහිවීමට උත්ප්‍රේරණය සැපයීය.

 

මේ සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේතුවේ සිදුවූ සංවාද මගින්ද වර්තමාන ව්‍යවස්ථාදායකයට ජනතාවගේ ඉල්ලීමට ප්‍රතිචාර ලබාදීමට ඇති උද්‍යෝගයත් හොරා ලෙස හංවඩු ගැසී ඒකාකෘතිගත(Stereotyped) දේශපාලකයා නම් චරිතය මින් ඉදිරියට හෝ එම ආකෘතියෙන් මුදා ගැනීමට ඇති අවශ්‍යතාවයත් පැහැදිළි විය. මෙම පනත සමග හැන්සාඩ් ගතවන එම සංවාද මගින්ද ඉදිරියේදි ගරු අධිකරණයෙන් ලැබීමට නියමිත නඩු තීන්දු වලින් යුක්තියේ දෙවගනගේ හස්තගත කරනලද අසිපත තව තවත් මුවහත් කිරීමට ගිණිගලක් සපයනු ඇතැයි විශ්වාස කළ හැකිය.

 

මෙම පනතේ ආරම්භයේදීම අපරාධයකින් උත්පාදිත දේ හඳුනාගැනීමට , තහනම් කිරීමට , රාජසන්තක කිරීමට හා වින්දිතයන්ට පවරාදීමට පෙර පැවති නෛතික ප්‍රතිපාදන හඳුනවාදෙමින් ඒ සඳහා ඌණපූරනයක් වශයෙන් මෙම පනත ගෙන එන බව පැහැදිළි කර තිබේ. පොදුරාජ්‍ය මණ්ඩලයේ එක්සත් රාජධානිය හා ඕස්ට්‍රේලියාව යන රට්වල අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් ගෙන එනු ලැබූයේ 2002 වසරේදීය. එනිසා මෙම පනතේ විභව්‍යතාවය මැන බැලීමට එම රටවල පසුගිය දශක දෙක තුළ ලබාදී ඇති නඩු තීන්දු විමර්ශණය කිරීම නීතීඥයන්ට භාර වී ඇත.




 

මෙම පනතේ ශක්තිය පෙන්නුම් කරන විශේෂ ප්‍රතිපාදනයක් ලෙස මෙහි අධිකරණයක් මගින් වරදකරු වීමෙන් තොරව 71 වගන්තිය යටතේ තහනම් කිරීමටත් 72 වගන්තිය යටතේ තහනමට ගැනීමටත් පැවරී ඇති බලය පෙන්වා දිය හැකිය.

"72 (1) තහනම් නියෝගයකට හෝ සංරක්ෂණ නියෝගයකට යටත් යම් දේකට, පළක් ඇතුළුව අපරාධයකින් උත්පාදිත දෙයක් බවට විශ්වාස කිරීමට තමාට සාධාරණ හේතු ඇති දේ හෝ අපරාධයකින් උත්පාදිත දෙයක් හෝ හඳුනාගත නොහැකි හෝ නොපවතින අවස්ථාවක, අපරාධයකින් උත්පාදිත දෙයක් බවට විශ්වාස කිරීමට තමාට සාධාරණ හේතු ඇති දේ හෝ එකී අපරාධයකින් උත්පාදිත දෙයක් හි වටිනාකමට අනුරූපී දේපළක් විමර්ශන නිලධාරියකු විසින් තහනමට ගනු ලැබිය හැකි ය. "

එසේම පනතේ 75 වගන්තිය යටතේ පහසුවෙන්ම මහාධිකරණය හරහා අදාළ සැකකටයුතු දේපළ ක්‍රියාවිරහිත කිරීමට ප්‍රතිපාදන සලසා තිබේ.

 

තවද මෙම පනතේ 34 වන වගන්තිය ප්‍රකාරව තවදුරටත් නිර්දෝශීභාවයේ පූර්ව නිගමනය තුළ අපරාධයකින් උත්පාදිත දේ සැඟවීමට ඇති අවසරය සුන්නද්දූලි කර ඇත.

 

"මීට ප්‍රතිවිරුද්ධ තත්ත්වය ඔප්පු කරන තත්, ඒ දේපළ ඍජුවම හෝ වක්‍රව යම් නීතිවිරෝධී ක්‍රියාකාරකමකින් උත්පාදිත දෙයක් හෝ යම් නීතිවිරෝධී ක්‍රියාකාරකමකින් උත්පාදිත දෙයක් භාවිත කරමින් සපයා ගන්නා ලද හෝ යම් නීතිවිරෝධී ක්‍රියාකාරකමකින් ව්‍යුත්පන්න වී හෝ උපලබ්ධ වී ඇති බවට (2) වන උපවගන්තියේ කාර්ය සඳහා පූර්ව නිගමනය කිරීම නීත්‍යයනුකූල විය යුතු ය. "

 

කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 13(5 ) සහ 13 (6) වන වගන්ති වලින් තහවුරු කර ඇති පුද්ගල නිර්දෝශීභාවයේ පූර්වානුමානය සහ පසුව පනවන දණ්ඩනයන් අතීතයට බල නොපෑම මෙම පනත හරහාද තහවුරු කිරීමට ව්‍යවස්ථාදායකයන් කටයුතු කර ඇත. Nullum Crimen Sine Lege යන නීති ආප්තය අනුව යමින් මේ හරහා පුද්ගලයාට දඬුවම් පැමිණවිය හැක්කේ පනත සම්මත වූ පසුව සංයුක්ත වන වැරදි වලට පමණි. නමුත් දේපල වලට එය අදාල නොවේ. මෙම පනතේ 15 වන වගන්තිය මගින් අපරාධයකින් උත්පාදිත දේපළ සම්බන්ධයෙන් පරිහරණය , සැඟවීම හා සාක්ෂි විනාශ කිරීම වැනි වැරදි වලට රුපියල් කෝටියක් දක්වා දඩ සහ වසර පහළොවක් දක්වා සිර දඬුවම් නියම කරයි. කෙසේ වුවත් සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය හා නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම පිණිස මේ සම්බන්ධව නීති වෘත්තිකයන්ගේ සේවාදායක වරප්‍රසාදය ආරක්ෂා කිරීමට අදාල විධිවිධාන සලස්වා ඇත.

 

"4(2) වරද මෙය පනත ක්‍රියාත්මක වීමෙන් පසුව සිදු කරන ලද්දේ නම්, මිස, මේ පනත යටතේ යම් වරදක් සිදු කරනු ලබන කිසිදු තැනැත්තෙකුට දඬුවම් කරනු නොලැබිය යුතුය. එසේ වුවද, මේ පනත ක්‍රියාත්මක වන අවස්ථාවේදී, මේ පනත යටතේ වූ වරදක් සංයුක්ත වන ක්‍රියාවක් අඛණ්ඩව සිදු කරන අවස්ථාවේදී, මේ පනත යටතේ අදාළ වරද සිදු කර ඇති ලෙස, එම වරදකරු සම්බන්ධයෙන් කටයුතු කිරීම සිදු කළ යුතු වේ."

 

මෙම පනත හරහා අදාල දේපල ශ්‍රී ලංකාවෙන් පිට ඇති විට , සයිබර් අවකාශයේ අතථ්‍යව පවතින අවස්ථාවන්හිදී හා ඒවා අස්පර්ෂනීය වන විටද ඒ සම්බන්ධව ක්‍රියා කිරීමේ බලතල පවරා තිබීම විශේෂත්වයකි. (41 වගන්තිය )

 

මෙම පනතේ සුවිශේෂීම අංගය ලෙස අපරාධයකින් උත්පාදිත දේ කලමනාකරණය කිරීම සඳහා 96 වගන්තිය යටතේ පිහිටුවනු ලබන අධිකාරිය හඳුන්වාදිය හැකිය. මෙම ස්වාධීන අධිකාරියේ කාර්යභාරය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපළ ප්‍රතිග්‍රහණය කර ආරක්ෂා කිරීම , සංරක්ෂණය කිරීම හා කලමනාකරණය කිරීමයි. ඒ සඳහා විශේෂයෙන් තෝරාගනු ලබන අධ්‍යක්ෂමණ්ඩලයකින් හා සභාපතිවරයෙකුගෙන් අධිකාරිය සමන්විත වන අතර ඔවුන්ගේ ධූරකාල හා ධූරයන් හිස් කිරීම සම්බන්ධව පණවා ඇති ප්‍රතිපාදන වලින් අධිකාරියේ විශ්වසනීය භාවය හා පාරදෘශ්‍යභාවය වර්ධනය කරයි.

 

සාධාර්ණත්ව නීතියේ අග්‍රඵලය ලෙස හඳුන්වනු ලබන භාර සංකල්පය මෙම පනත තුළට අනුයෝජනය කරමින් මෙහි 132 වගන්තිය මගින් අපරාාධයක වින්දිතයන් හාානිපූරණය කිරීමේ භාර අරමුදලක් පිහිටුවනු ලබයි. ඒකාබද්ධ අරමුදලේ කොටසක් වන මෙම භාර අරමුදලට දේපල කලමනාකරණ අධිකාරිය , පාර්ලිමේන්තුව හා විදේශ අධිකාරීන් මගින් මුදල් ප්‍රේෂණය කිරීමට විධිවිධාන සලස්වා ඇත. භාර අරමුදල මගින් අපරාධයට අදාල වින්දිතයන් ප්‍රභේදය අධිකරණය විසින් නියම කරනු ලැබූ විට ඔවුන්ගේ ප්‍රතිලාභය උදෙසා හානිපූර්ණ , සංවර්ධන හා සුභසාධන ක්‍රියාකාරකම් සකස්කිරීමත් එලෙස ප්‍රභේදයක් නියම නොකරන ලද විට පොදු මහජන සුභසිද්ධිය උදෙසා සංවර්ධන කටයුතු හඳුනාගැනීමත් සිදු කළ යුතුය.

 


 

 මෙම පනත නිර්මාණය කිරීමේදී වර්තමානය හා පුරෝකථනය කළ හැකි අනාගතයේ ඇති විය හැකි සියළු ප්‍රායෝගික ගැටළු වලට පුළුල් ප්‍රතිකර්ම සැලසෙන සේ කටයුතු කර ඇත. කෙසේ වුවත් මෙම පනතින් සංස්ථාපනය කරනු ලබන නිලධාරීන් හා ආයතන මගින් පනත ක්‍රියාත්මක කිරීමේදීද අධිකරණයෙහි සිදුවන නඩු කටයුතු වලදී ලැබෙන නඩු තීන්දු මගින් ඇතිකරන පූර්වාදර්ශ හරහාද තවදුරටත් සියුම් ලෙස මෙහි පර්යන්තයන් නිරාවරණය වනු ඇත. තියුණු අසිපතකින් සන්නද්ධ කරන ලද නමුත් දෑස් වසන ලද දෙවඟනගේ ප්‍රහාරය නියම අපරාධකරුවන් වෙතම එල්ල කරන පරිද්දෙන් විමර්ෂණ මෙහෙයවීම මෙම පනතේ ව්‍යවස්ථාදායක අභිලාෂය සපුරා ගැනීම සඳහා තීරණාත්මක වනු ඇත.










 

  අනාගත ඉරානයේ පුරාතන උරුමය ඉරානයේ රෙජීම් වෙනසක් නොවන්නේ මන්දැයි ඇමරිකානු ජනාධිපතිවරයා ප් ‍ රසිද්ධියේ ප් ‍ රශ්න කරන පසුබිමක ඇමරිකා එක්සත් ජන...