ඒ අනුව මූලික අයිතිවාසිකමක් කඩවීමකදී හෝ කඩවීමට අත්‍යාසන්න අවස්ථාවකදී එම තැනැත්තා හෝ එම තැනැත්තාගේ නීතීඥයා මගින් එතැන් පටන් මාසයක කාලසීමාවක් තුළ ශ්‍රේෂ්ටාධිකරණයට පෙත්සමක් මගින් ඉදිරිපත් කළ යුතුය. මෙහිදී බලපවත්වන සීමාකිරීම් දෙකකි
1. පෙත්සම ඉදිරිපත් කළ යුතු තැනැත්තා
2. කාල සීමාව.
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ දැක්වෙන කාලසීමාව පිළිබඳ සීමාකිරීම ප්‍රතිකර්ම ලාභයට අන්තරායකර වන අවස්ථාවක් ලෙස රදවා තබාගැනීමේදී රැදවීමේදීම මාසයක කාලය ඉක්මවා යාම හඳුනාගත හැක. නීත්යානුකූල නොවන ලෙස සිරභාරයට ගැනීම හෝ එක් දිනක් හෝ රඳවා තබාගැනීම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි. මෙහිදී අදාල පෙත්සම ඉදිරිපත් කිරීමට අදාළවන මාසයක කාලය එලඹෙන්නේ අත් අඩංගුවෙන් නිදහස් වූ දින සිට බවත් (අත් අඩංගුවේ සිටියදී අධිකරණය වෙත පැමිණිය නොහැකි බැවින් ) එය ලිත් මසක කාල සීමවක් බවත් සාලියා උම්මා එරෙහිව මොහොමඩ් යාසීන් නඩුවේදී විනිශ්චිතය.
පෙත්සම ඉදිරිපත් කිරීම අයිතිවාසිකම් කඩ වුණු පුද්ගලයා විසින් සිදු කළ යුතු වීම මත අයිතිවාසිකම් කඩවීමෙන් අදාල පුද්ගලයා මිය ගොස් ඇත්නම් කුමක් කළ යුතුද යන්නට ප්‍රකාශිත විධිවිධාන අනුව පුද්ගලයාගේ නීතීඥයා හැර වෙනත් ක්‍රමයක් නොවීය. මෙම ප්‍රවේශය අනුව ලබාදුන් තීන්දුවක් ලෙස සෝමාවතී එ. වීරසිංහ නඩුවේ තීන්දුව හඳුන්වා දිය හැකිය. සිය ස්වාමිපුරුෂයා පොලිස් අත් අඩංගුවේදී මියයාම සම්බන්ධයෙන් බිරිඳක් විසින් ගොනු කල පෙත්සම ප්‍රතික්ෂේප කරමින් අමරසිංහ විනිසුරු ප්‍රකාශ කළේ.
" ආ.ක්‍ර.ව්‍ය. 126 (2) මගින් බැලූ බැල්මටම , ව්‍යාකරණානුකූලව හා හොඳින් වටහාගත හැකි ලෙස පැහැදිළිවම ප්‍රකාශ කර ඇති පරිදි මූලික අයිතිවාසිකමක් කඩවීම සම්බන්ධයෙන් පෙත්සම ඉදිරිපත් කළ යුත්තේ එම පුද්ගලයා හෝ ඔහුගේ නීතීඥයා මිස වෙනත් කිසිවෙකුවත් නොවේ. ඒ අනුව පෙත්සම් කාරියගේ අභියාචනය මෙම අධිකරණයට නොව පාර්ලිමේතුවට (අදාල වගන්ති සංශෝධනය පිණිස ) යොමු විය යුත්තේය "
මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කාර්යපටිපාටික සීමාකිරීම තවදුරටත් සීමා වූ අතර මියගිය අයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ්වීම පිලිබඳ කටයුතු කළ නොහැකි (ප්‍රතිකර්ම විරහිත ) තත්වයකට පත්විය. ලිඛිත නීතියේ කවරක් සඳහන් වුවද සාධාරණත්වයේ මූලධර්ම අනුව යම් අයිතියක් පවතීනම් අනිවාර්යයෙන්ම ඒ සඳහා ප්‍රතිකර්මයක්ද පැවතිය යුතුය. ( Ubi Jus Ibi remedium) මෙම සාධාරණත්ව ආප්තය තහවුරු කරමින් පැවති සීමාවන් ඉවත් කර ජනතාව වෙත පුළුල් මූලික අයිතිවාසිකමක් ලබාදුන් නඩු තීන්දුවක් ලෙස සුප්‍රසිද්ධ ' ශ්‍රියානි සිල්වා එ. ඉද්දමල්ගොඩ ස්ථානාධිපති" නඩු තීන්දුව පෙන්වාදිය හැකිය.
පෙර නඩුවේ සිද්ධියටම සමාන සිදුවීමක් වූ මෙහිදීද අදාල බිරිඳ විසින් පොලිස් අත් අඩංගුවේදි සිය සැමියා මියයාමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර අනුගාමී පූර්වාදර්ශ න්‍යාය අනුගමනය කළේ නම් සෝමාවතී එ. වීරසිංහ නඩු තීන්දුව අනුව මෙම පෙත්සමද නිශ්ප්‍රභ වීමට හැකි විය. නමුත් ප්‍රනාන්දු විනිසුරු විසින් Ubi jus Ibi remedium අනුව යමින්
"මූලික අයිතිවාසිකම් කඩ වීමක් කරණ කොට වින්දිතයා මරණයට පත්වීම හේතුවෙන් අධිකරණයට පැමිණිය නොහැකි විටදී ඔහුගේ ළඟම ඥාතියාට, නියත උරුමක්කාරයාට හෝ යැපෙන්නාට අදාල පෙත්සම ඉදිරිපත් කිරීමට හැකි විය යුතුය. නැතහොත් අයිතිවාසිකම කඩවීමට එරෙහිව ප්‍රතිකර්ම විරහිත වන්නේය"
මෙම නඩු තීන්දුව පූර්වාදර්ශ කරගනිමින් මේ හා සමානම සිද්ධියක් උදගත වූ 2002 වසරේ රාණි ප්‍රනාන්දු එ. සීදුව පොලිස් ස්ථානාධිපති නඩුවේදී ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු විසින්
" මෙම නියෝගයෙහි සඳහන් පරිදි – Kotabadu Durage Sriyani Silva v. Chanaka Iddamalgoda, Officer-in-Charge, Police Station, Paiyagala (Supra SC Minutes of 10.12.2002) – "අයිතියක් ඇතොත් ප්‍රතිකාරයක් තිබිය යුතුය" යන සංකල්පය "Ubi jus ibi remedium" යන ලතින් ආප්තයෙන් පිළිගත් හා සම්මත වූ ආචාරධර්මයකි. එනම්, "අයිතියක් නැතිනම් ප්‍රතිකාරයක් නැත" යන්නයි. එහෙයින්, ප්‍රතිකාරයකින් තොර අයිතියක් අදහස් කළ නොහැක. පුද්ගලයකුගේ අයිතිය හා ඒ අයිතිය මත පදනම් වූ ප්‍රතිකාරය අන්‍යෝන්‍යව සම්බන්ධ වූ දෙයකි.
වැඩිදුරටත්, පුද්ගලයකු යම්කිසි අමානුෂික, නිරදර, කෘර පීඩනයකට ලක්වූ පසු, ඔහුගේ අයිතිය 11 වන වගන්තිය ව්‍යවස්ථානුකූල වශයෙන් ආරක්ෂා කර ඇත. එය අඩු ගැඹුරකින් යුත් අයිතිවාසිකමක් වුවද එය රැකිය හැකි බව සැලකේ. එසේනම්, එවැනි කෘර පීඩනයක් හේතුවෙන් මරණය සිදුවීම වැනි බරපතල උල්ලංඝනයක් පිළිකෙවීම නොහැකි වන්නේ කෙසේදැයි තේරුම්ගත නොහැක.
ඉහත සඳහන් කරුණු සළකා බලන විට, මම තීරණය කරනුයේ, මරණයට පත් වූ පුද්ගලයාගේ ව්‍යවස්ථාමය අයිතීන් — 11 වන හා 13(4) වන ව්‍යවස්ථා ව්‍යවස්ථානුකුල අයිතිවාසිකම් — උල්ලංඝනයට ලක් වී ඇති අතර, එම අයිතීන් මූලිකවම පෙත්සම්කරුට (ළඟම ඥාතියා හා උරුමකරු වශයෙන්) අභිනියෝජනය වී ඇත හෝ භාරවී ඇත යන්නයි. "
මේ අනුව ආණ්ඩු ක්‍රමව්‍යවස්ථාවේ අප්‍රකාශිත වූ මූලික අයිතිවාසිකමක් ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් අර්ථ නිරූපණ අනුසාරයෙන් ජනතාව වෙත ප්‍රදානය කර ඇත.

No comments:
Post a Comment