අනාගත ඉරානයේ පුරාතන උරුමය
ඉරානයේ රෙජීම් වෙනසක් නොවන්නේ මන්දැයි ඇමරිකානු ජනාධිපතිවරයා ප්රසිද්ධියේ ප්රශ්න කරන පසුබිමක ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන පර්සියාවේ ඔටුන්න හිමි රේසා පාලවී කුමරු මාධ්ය සාකච්ඡාවක් පවත්වමින් සිය රටවැසියන් වෙනුවෙන් නායකත්වය දීමට තමා කැපවන බව ප්රකාශ කළේය. තමා ඉරානයේ හමුදා සාමාජිකයන් හා ආරක්ෂක අංශ නියෝජිතයන් වෙනුවෙන් තම කණ්ඩායම සමග රහසිගතව සම්බන්ධ විය හැකි සුරක්ෂිත සන්නිවේදන නාලිකාවක් ආරම්භ කර ඇති බවත් ඒ සමග සම්බන්ධ වෙමින් ඉරානයේ නව ප්රජාතන්ත්රවාදී රෙජීමයක් පිහිටුවීමට හවුල් කරුවන් වන ලෙසත් කුමරු මෙහිදී පළා යාමට සැරසෙන ඉරානයේ ඉහළ නිලධාරින්ට ආරාධනා කරයි. 1979 වර්ෂයේදී බලයෙන් පහකරන ලද මොහොමඩ් රේසා පාලවී අධිරාජයා ගේ පුත්රයාද රේසා ෂා අධිරාජයාගේ මුණුබුරාද වන මොහු සම්බන්ධයෙන් ඉරානයේ ජනතාවට සිහිගන්වන නොස්ටැල්ජියාව නව රෙජීමයක් පිහිටුවීමට ප්රමාණවත් වනු ඇත්දැයි ගැටළුවකි. නමුත් ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් සිය විරුද්ධවාදීන් තදින් මර්ධනය කරනු ලැබ ඇති බැවින් වෙනත් විකල්ප නායකත්වයක් ඉරානය තුළ හෝ ඉන් පිටත ශේෂ වී නැති පසුබිමක සිය පිය උරුමයෙන් අතීත පර්සියානු රාජ්යයට උරුමකම් කීමට රේසා කුමරු ඉදිරිපත් වීම පුදුමයක් නොවේ.
යම් හෙයකින් ඔහුගේ ව්යායාමය සාර්ථක වුව හොත් ඉරානයේ නැවත පැරණි රාජාණ්ඩුව පිහිටුවීමට අපේක්ෂාවක් ඔහු තුළ ඇති බවක් කථාවෙන් නිරීක්ෂණය නොවූවද ඉරානයේ ජනතාව විසින් අනාගත රාජ්යය කෙබඳු විය යුතුදැයි ජනමත විචාරණයකින් තීන්දු කළ යුතු බව ප්රකාශ කරයි. මේ හරහා 1993 බ්රසීලයේ පැවැත්වූ ජනමත විචාරණය වැනි ජනවරමක් හරහා නැවත රාජාණ්ඩුව ගෙන ඒමට ඔහු අපේක්ෂා කරනු ඇතැයි උපකල්පනය කිරීමටද හැකිය.
ඉතිහාසය විමසා බැලීමේදි පෙර සිහසුනෙන් නෙරපන ලද රජුන් නැවත ප්රාජාතාන්ත්රිකව හෝ බාහිර බලවේගයක් මගින් බලයට ගෙන ඒම කොතෙකුත් දැකිය හැකිය. 1946 දී සිහසුනෙන් නෙරපූ බල්ගේරියාවේ දෙවන සිමියොන් රජු 2001 වසරේදි මහජන ඡන්දයෙන් එරට අගමැති වරයා වූ අතර නැවත රාජාණ්ඩුව පිහිටුවීමට ඔහු උත්සාහ නොකළේය. 1970 දි පොල්පොට් විසින් බලයෙන් පහ කළ කාම්බෝජ රාජාණ්ඩුව නැවත 1991 පැරිස් සාම ගිවිසුම හරහා නොරොදොම් සිහනූක් කුමරුගේ මූලිකත්වයෙන් පිහිටුවන ලදී. ස්පාඤ්ඤයේ ඒකාධිපති ෆ්රැන්කෝගේ මරණින් පසු පැරණි රාජාණ්ඩුවේ උරුමක්කාරයා වූ ජුවාන් කාලෝස් කුමරු සාමකාමීව බලයට පත් වී ස්පාඤ්ඤය නැවත ප්රජාතන්ත්රවාදී මාවතට යොමු කළේය.
ඉරාන - ඊශ්රායල යුද්ධයට මේ වන විටත් සක්රියව ජාත්යන්තර මැදිහත්වීම සිදුවන බැවින් අනාගතයේ කවරක් සිදුවේදැයි පුරෝකථනය කළ නොහැකි නමුත් ඉරාන ජනතාවගේ ආරක්ෂාව , ආර්ථික පුනර්ජීවනය හා නිදහස වෙනුවෙන් වන නිහඬ ඉල්ලීමට පළමුව ප්රතිචාර දැක්වීමට රේසා කුමරු සමත් වී තිබේ. ඇමරිකාවේ වාසය කරන පැරණි රජ පවුල ට්රම්ප් ජනපති විමසා සිටින ඉරානයේ රෙජීම වෙනස ඇති කිරීමට ප්රමුඛ විකල්පය ලෙස රාජ්යතාන්ත්රීයව භාවිතා වනු ඇති බව පැහැදිළි සත්යයකි. ඉතිහාසයේ සිදුවී ඇති පරිදි ඉරාන ජනතාවගේ ජන මතයත් ජාත්යන්තර සහයෝගීතාවත් නිසි පරිදි ලැබේ නම් සහස්ර ගණනාවක් පැරණි පර්සියානු රාජාවලිය නැවත ඉරානයේ ප්රවර්තනය වනු ඇත.

