භික්ෂුණී උපසම්පදාවට ලැබුණු නීතිමය පිළිගැනීම
රංගිරි දඹුලු පාර්ශ්වයේ වැලිමඩ ධම්මදින්නා මෙහෙණින් වහන්සේගේ ජාතික හැඳුනුම්පතෙහි "සිල් මාතා" වෙනුවට "භික්ඛුණි" යැයි යොදන ලෙස ගරු ශ්රේෂ්ටාධිකරණය පසුගියදා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වෙත නියෝග කරන ලදී. මේ තීන්දුවට පදනම් වූ කරුණ නම් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යම් කාල සීමවක් තුළ ඇතැම් මෙහෙණින් වහන්සේ වෙත භික්ෂුණී යැයි සඳහන් වන හැඳුනුම්පත් නිකුත් කර තිබුණද ශාසනික විරෝධතාවක් හමුවේ එලෙස හැඳුනුම්පත් නිකුත් කිරීම නවත්වන ලෙස චක්රලේඛයක් නිකුත් කර තිබීමයි. මේ හරහා අදාල පෙත්සම්කාරියගේ සාධාරණ අපේක්ෂාව අධිකරණයේ අවධානයට යොමුවූ අතර අදාල චක්රලේඛය මගින් ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 12(1) වගන්තියේ සඳහන් සමානාත්මතාවයේ අයිතිය උල්ලංඝණය වන බව විනිශ්චය කරන ලදී.
මෙම නඩු තීන්දුව විශේෂ වන්නේ හැඳුනුම්පතක් නිකුත් කිරීම නිසා නොව ශ්රී ලංකාව තුළ පිළිගත් භික්ෂුණී ශාසනයක් පවතින බවට භෞතික පරිසිද්ධි පවතින බව අධිකරණයේ මතය වීම නිසාය. 1998 වසරේදි පිහිටුවනු ලැබූ රංගිරි දඹුලු පාර්ශ්වීය මෙහෙණි උපසම්පදාව දරන 3000 ක් පමණ මෙහෙණින් ලංකාවේ වැඩ සිටීම, සැලකියයුතු ගිහි උපාසක ප්රජාවක්වෙත ආගමික සේවය ලබාදීම , රංගිරි දඹුලු පාර්ශ්වය විසින් පිළිගනු ලැබීම හා පෙරදී භික්ෂුණී ලෙස සඳහන් හැඳුනුම්පත් , උපාධි සහතික නිකුත් කර තිබීම වැනි කරුණු මත පදනම්ව ශ්රී ලංකාව තුළ ප්රායෝගික වශයෙන් භික්ෂුණී ශාසනය පවතින බව අධිකරණයේ මතය වී ඇත. ලංකාවේ වසරකට සැලකිය යුතු ප්රමාණයක් මෙහෙණි උපසම්පදා සිදුවී ඇති අතර කිසිඳු නිකායක මහානායක ස්වාමින් වහන්සේ ඒ කෙරෙහි විරුද්ධ නොවීමත් උපසම්පදාවට එරෙහිව කිසිඳු නෛතික හෝ චාරිත්රානුකූල තහනමක් උපලබ්ධ වී නොතිබීමත් අධිකරණයේ අවධානයට ලක්ව තිබේ.
මේ සම්බන්ධයෙන් වග උත්තර කාර පාර්ශ්වය විසින් භික්ෂුණී ශාසනය පිළිගැනීම ථේරවාද විනයට පටහැනි බැවින් ආ.ක්ර.ව්ය. 9 වන වගන්තිය ප්රකාරව බුදු දහම පෝෂණය කර රැක ගැනීමේ රජයේ වගකීම මත භික්ෂුණී හැඳුනුම්පත් නිකුත් නොකිරීම ප්රතික්ෂේප කළ අධිකරණය ආ.ක්ර. ව්ය ව්යවස්ථාවේ 14(1) ප්රකාරව භික්ෂුණී උපසම්පදාව ලැබීම හා භික්ෂුණියක් ලෙස පිළිගනු ලැබීම පුරවැසියෙකුගේ ආගමික නිදහසේ මූලික අයිතිවාසිකමක් වන හෙයින් ඒ සඳහා රජයේ මැදිහත්වීම අදාල අයිතිවාසිකම උල්ලංඝණය කිරීමක් ලෙස අර්ථදක්වන ලදී. බෞද්ධ විහාර දේවාලගම් පනතේ භික්ෂුණීන් පිළිගෙන නොමැති වීම සම්බන්ධයෙන් 1901 අංක 21 දරන අර්ථ නිරූපණ ආඥාපනතේ 2 (11) වගන්තියේ එන පුරුෂ ලිංග නාමපද මගින් ස්ත්රී ලිංගික සමරූපය වරනැගීම හරහා "භික්ෂු" ශබ්දයෙන් "භික්ෂුණීන්" අර්ථදැක්වෙන බව අධිකරණය තීන්දු කරන ලදී.
වග උත්තරකාර පාර්ශ්වය ව්සින් ඉදිරිපත් කරනලද "කෙසෙල්වතුගොඩ චන්දන හිමි එ. සිරිමල් වත්තේ ආනන්ද මහානායක හිමි " නඩුවේ පූර්වාදර්ශය නම් ආගමික පැවිද්ද සම්බන්ධ වූ ගැටළු අධිකරණ මගින් නොව ඒ ඒ ආගමික සංස්ථාව විසින්ම විනිශ්චය කරනු ලැබිය යුතු වීමයි. ඒ අනුව පැවිද්ද සම්බන්ධ කරුණු ස්වකීය අධිකරණ බලයට යටත් නොවන බව පිළිගත් අධිකරණය මෙම ගැටළුව පැවිද්ද සම්බන්ධ වූවක් නොව අනන්යතාවය හා නොසළකාහැරීම සම්බන්ධ ගැටළුවක් විනා බෞද්ධ විනය අර්ථකථනයක් නොවන බව ප්රකාශ කරන ලදී. නමුත් මේ සම්බන්ධව විසම්මුතික තීරණයක් ඉදිරිපත් කළ සමයවර්ධන විනිසුරු මේ හරහා ප්රවෘජ්යෙෂ ප්රශ්නයක් උද්ගතවන බවත් එය අධිකරණය විසින් නොව මහානායක ස්වාමින් වහන්සේලා විසින් විනිශ්චය කරනු ලැබිය යුතු බවත් සිය විසම්මුතික තීරණයේදී සඳහන් කරන ලදී. මහානායක ස්වාමීන් වහන්සේලා විසින් ඉදිරිපත් කරනු ලැබූ විරෝධතා ලිපිය, පරිපාලන ක්රියාවන් නිසි ලෙස ඉටු කොට තිබීම හා ආ.ක්ර.ව්ය. 9 හා 16 වගන්තිද මෙම විසම්මුතික තීරණයට පදනම්වී ඇත.
මෙම ශ්රේෂ්ටාධිකරණ තීන්දුව පරිපාලනමය නොසළකාහැරීමක් සම්බන්ධ තීන්දුවක් මිස ථෙරවාද බෞද්ධ විනය අර්ථනිරූපණයක් නොවූවත් ඒ හරහා සෘජුවම මහායානික භික්ෂුණී උපසම්පදාවට නෛතික පිළිගැනීම ලැබුණු බව පිළිගත යුතුය. අෂ්ටගරුධර්ම මත පදනම් වන භික්ෂුණී උපසම්පදාව අඛණ්ඩව හා අවිච්ඡින්නව කිසිඳු ථේරවාද සම්ප්රදායක නොපවතින අතර චීනය , තායිවානය යන රටවල ධර්මගුප්තක විනය මත පදනම්වන මහායානික භික්ෂුණී උපසම්පදාවක් භාවිතය හෝ ලියාපදිංචිය හරහා ථේරවාදකරණය කළ නොහැක. නමුත් ශ්රී ලංකා ආණ්ඩු ක්රම ව්යවස්ථාවේ බුදු දහම මිස ථේරවාද බුදු දහමක් ගැන සඳහනක් නොවන බවත් මෙහි ලා වටහා ගැනීම සුදුසුය. වාච්යාර්ථයෙන් සසරේ බිය දකින්නාම භික්ෂුව වන්නේය (සංසාරේ භයං ඉක්ඛතීති භික්ඛු ) ඒ අනුව භික්ෂු ශබ්දයේ ඕලාරික නීති අර්ථකථන වලින් ඔබ්බෙහි පවතින ලෝකෝත්තර අර්ථයම ඔප්නංවා ගැනීමට බුද්ධවචනයෙහි හික්මෙන කවරෙකු වුවත් උත්සාහ කිරීම ප්රතිපත්ති සාසනයේ පැවැත්මට උපකාර වනු ඇත.

No comments:
Post a Comment