ථූපාරහ සූත්රයේ බුදුරජාණන් වහන්සේ දක්වා ඇති පරිදි සම්මා සම්බුද්ධ, ප්රත්යේක බුද්ධ , මහ රහත් හා චක්රවර්ති රජුන් යන සතර වර්ගයාගේ ශාරීරික ධාතු තැන්පත් කර ස්ථූප ඉදි කිරීම මේ ලෝකයේ සිරිතකි. කාශ්යප සම්බුදුරජාණන්ගේ ආදාහනයේදී චිතකයේ ඉතිරි වූයේ එක් රන්වන් පැහැති ධාතුවක් පමණක් බව කියනු ලැබේ. එය සියළු දීර්ඝායුෂ්ක බුදුවරුනට පොදු ධර්මතාවයකි. එලෙස ශේෂ වන ධාතුව බෙදා ගැනීමක් නොවන හෙයින් සියළු දෙව් මිනිසුන් එක්ව තථාගතයන් උදෙසා එකම එක ස්ථූපයක් ඉදි කරති. බොහෝ විට ඒ රන් වලිනි. එලෙස ඉදි කළ ස්ථූපය ඒ කල්හි වාසය කරන දීර්ඝායුෂ්ක මනුෂ්යයෝ වැඳ පුදාගනිති. නමුත් අල්පායුෂ්ක බුදු වරුන් ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් ස්වකීය ධාතු විසිරී යාමට අධිෂ්ටාන කරන අතර ඒ අනුව අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු තල ඇට , සහල් ඇට හා මුංඇට ප්රමාණයට බිඳී විසිරී ගිය බව සඳහන් වේ. ඒ අතරින් ලේඛන ගතවූ නොබිඳී ගිය ධාතු 7 කි. බුදුරජාණන් වහන්සේගේ ලලාටාස්ථිය අක්ෂකාස්ථිද්වය හා සතරක් වූ දංෂ්ට්රා ධාතු යනු ඒවාය.
ශාරීරික ධාතු යනු ලංකාද්වීපයට ආගන්තුක වූ අත්භූත දෙයක් නොවේ. තථාගත අධිෂ්ටානයෙන් ධාතු විසිරී ගියේ සකල ලෝකයේම සත්වයාට වන්දනාකරනු පිණිස වුවත් බුද්ධ පරිනිර්වාණයෙන් වසර තුන්සියයක් යන්නට පෙරම එම සියළු ධාතූන් වහන්සේලා අතරින් අතිමහත් බහුතරය මේ කුඩා ලංකාද්වීපය තුළම නිධන්ගත විය. ඉන් අඩක්ම රුවන්මැලි සෑයේ නිධන්ගත වී ඇත. ඒ අනුව ශ්රී ලංකාදීපය වනාහි මේ ලෝකයේ බුදුන් වෙනුවෙන් කළා වූ ධාතු මන්දිරයක් වැනිය. ලේඛනගත මූලාශ්රවලට අනුව ලංකාදීපයෙන් පිට කිසියම් හෝ සර්වඥ ධාතුවක් ඇත්තේ නම් ඒ ඉතා ස්වල්ප වශයෙන් විය යුතුය. මේ ශාරීරික ධාතූන් වහන්සේලා අතරින් ඉතාමත් පසු කාලයේදී ලංකාව වෙත වැඩමවන ලද ධාතුවක් වේ නම් ඒ වත්මන් දලදා මාලිගාවේ තැන්පත් කර ඇති වම් දලදා වහන්සේය. (මින් පසුව ලංකාවට ආගන්තුකව ශාරීරික ධාතු වැඩමවන ලද්දේ නම් ඒ පුරාවිද්යා කැනීම් වලින් සොයාගත් කපිලවස්තු ධාතූන් විය යුතුය ) හේමමාලා කුමරිය කලිගු රටින් දලදාව ලංකාවට ගෙන ඒම පුත්තලමට ලුණු ගෙනාවා හා සමාන වන්නේ එනිසාය. කිත්සිරිමෙවන් රජ දවස කලිඟු රටින් වඩමවන ලද දලදා වහන්සේ දුටු පමණින් ආශ්චර්ය අත්භූත වස්තුවක් ලෙස එය පිළිගැනීමට එවක රජකම් කළ සිරිමේඝවණ්ණ රජතුමා මැලි වූ බව දාඨා වංසයේ 362 ගාථාවෙන් පෙනේ.
රාජා තතො මහතියා පරිසාය මජ්ජෙ - ඉච්චබ්රවී මුනිවරොහි සුසුක්ක දාඨො
දාඨා ජිනස්ස යදි ඕසධිතාරකාච - සේතාභවෙය්ය කිමයං මලිනාව දාඨා
මහ පිරිස මැද සිට කිත්සිරි මෙවන් රජු ප්රකාශ කළේ අපේ බුදු රජාණන්වහන්සේගේ දලදාව නම් සිකුරු තරුව මෙන් ඉතා සුදුය මේ කිලිටි වී ගිය දත කුමක්ද යන්නයි. ඒ අවස්ථාවේදී දලදාවහන්සේගේ පෙළහර පෑම සහ ඉන් පසු අවස්ථා කීපයකදීම එලෙස සුදු පැහැති රැස් විහිදවීම දාඨා වංසයේ හා චූල වංසයේ සඳහන් වී ඇත. මේ පෙළහර නිසා හෝ අනෙක් සර්වඥ ධාතූන්ට මෙන් දලදා වහන්සේට ලංකාදීපයේ ථූපයක් ඉදි නොවිණි. එය ධාතු මන්දිරයක තැන්පත් කරන ලද අතර නොබෝ කලකින්ම දලදා වහන්සේගේ ආගමික වැදගත්කම අභිබවා අතිශය ප්රබල දේශපාලනික වැදගත්කමක් ආරෝපණය වීමට එය හේතුවූ බව නිසැකය. මෞර්ය අධිරාජ්යයේ ක්ෂත්රිය අභිෂේකය සමග අන්තර්ජාතිකව ස්වෛරී රාජ්යයක් ලෙස පිළිගැනීම ලැබුණු ලංකා රාජ්යයේ අද දක්වාම පවතින රාජ්යත්වයේ සංකේතය ජය ශ්රී මහා බෝධියයි. සුවිශේෂී ජීවමාන සංකේතයක් වුවත් ජංගම වස්තුවක් නොවීම කරණ කොට විශේෂයෙන්ම පොළොන්නරුව යුගයේ සිට රාජ්යත්වයේ සංකේතය ලෙස දලදාව අවිවාදයෙන්ම පිළිගන්නා ලදී.
වරින් වර දේශීය හා විදේශීය රාජකීයයන් විසින් පැහැර ගන්නා ලදුව මේ සිංහල ද්වීපයේ දළදා වහන්සේ තරම් අපහරණය කලාවූත් පීඩා කලාවූත් වෙනත් කිසිදු ධාතුවක් නැත. අනෙක් සර්වඥ ධාතූන් ධාතු ගර්භයන්හි දෙව් මිනිසුන්ගේ පූජාවන්ට භාජනය වෙද්දී දලදාව කුරහන් ගල් අස්සේද , සිවුරු වාටි අස්සේද තථගත සාරීරික ධාතුවකට අයෝග්ය වූ නොයෙක් ස්ථාන වලද අල්ප වූ පූජාවන් ලබන්නටත් අනේක වූ සැකයන්ට භාජනය වෙමින් කිණිහිරි මත සිට තැලෙන්නටත් ගල් අඟුරු ගොඩවල දැවෙන්නටත් භාජනය වූ බව සියලුම ලිඛිත මූලාශ්ර සාක්ෂි දරයි. මෙතරම් පරීක්ෂාවන්ට හෝ උපද්රව වලට එදා මෙදාතුර ලංකාවේ කිරුල දැරූ කිසිදු කුමාරයෙක් හෝ දේශපාලකයෙක් භාජනය වී නැති අතර ලක්දිව අජීවමාන රජු ලෙස ජනතාව සිතින් දලදා වහන්සේ වැලඳගත් බව ඉතිහාසය ගවේෂණයේදී පෙනීයයි. සත් දිනකින් පහළවන්නට තිබූ චක්රවර්ති රාජ්යය ප්රතික්ෂේප කළ ඒ මහා පුරුෂයාගේ දන්තධාතුව ලංකාවේ පාලකයන් එදා සිට අද දක්වා යුධ කැරලි කුමන්ත්රණ හරහා දේශපාලනික කූටෝපාය තුළ අපහරණය කිරීම කෙතරම් සදාචාරාත්මකදැයි නියම බෞද්ධයෙකුට ප්රශ්නයක් ඇති විය හැකි නමුත් සිංහල බෞද්ධ අනන්යතාව තුළ අදත් අනාගතයේත් දළදා වහන්සේ තරම් ආනුභාවාත්මක ලාංඡනයක් බිහි නොවනු ඇත.
සෑම සංස්කෘතික රාජ්යයකම පාහේ රාජ්යත්වයේ සංකේත දැකිය හැකිය. ප්රංශයේ ශුද්ධ ඇම්පූලය , ඔස්ට්රියාවේ ශුද්ධ වූ තෝමරය , ස්කොට්ලන්තයේ ඉරණම් ගල හා ජපානයේ ත්රිවිධ කකුධ භාණ්ඩ වැනි දේශීය විඥාණයේ සනිටුහන් වූ වස්තූන් පැවතියද ශ්රී ලංකාවේ දන්ත ධාතුව මෙන් ප්රබල ලෙස රාජ්යත්වයට බලපෑම් කල හැකි කකුධ භාණ්ඩයක් හමුවන්නේ නම් ඒ ටින් ටින් ප්රබන්ධයේ සිල්ඩේවියාවේ ඔටෝකා සෙංකෝලයයි. මේ බව වටහාගත් ඉංග්රීසි ආණ්ඩුකාර බ්රවුන් රිග් ඒ පිලිබඳ එංගලන්තයේ යටත්විජිත භාර ලේකම් වෙත ලියා යවන ලද ලිපි වල දලදාවේ දේශපාලනික වැදගත්කම විස්තර කර ඇති අතර බ්රිතාන්ය පාලන සමය තුළදී දළදා වහන්සේ වෙනුවෙන් ඉටු කල යුතු සියළු පිළිවෙත් සත්කාර නිසි අයුරින් වඩාත් සංවිධානාත්මකව ඉෂ්ටවූ බව නිරීක්ෂණය වේ.
ධම්මපදයේ 195 හා 196 ගාථාවල සඳහන් වන පරිදි කාශ්යප බුදුරජාණන්වහන්සේගේ ධාතු පරිනිර්වාණයට ලක්වූ ශූන්ය වූ ස්වර්ණ චෛත්ය තිබූ තැන ඉදි කළ දේවාලයට කිසිවක් නොදැන වන්දනා කළ අබෞද්ධයාට පවා පිනක් සිදු විය. ඒ අනුව ධර්මානුකූලව ගෞතම බුදුරජානන් වහන්සේගේ ධාතු පරිනිර්වාණය තවමත් සිදු වී නැති හෙයින් උන් වහන්සේගේ ධාතු වන්දනාකිරීමෙන් රැස් කරගත හැකි පින අප්රමාණය. අච්ඡරිය මනුස්ස නම් වූ බුදුරජාණන් වහන්සේගේ ගුණ ස්කන්ධය සිහි කොට හට ගන්නා ශ්රද්ධා සිතින් කවර වස්තුවකට වුවද කරන නමස්කාරය චේතනාව කර්මය වන හෙයින් අභිධර්මානුකූලව මහත්ඵල වේ. එසේ හෙයින් දලදා වහන්සේ වන්දනා කිරීමේදී පින් කැමති සැදැහැවතුන් තථාගතයන් වහන්සේගේ අනන්ත ගුණ සිහි කොට රැස්කර ගන්නාවූ සියලු කුසල් මාද සැදැහැ සිතින් යුක්තව අනුමෝදන් වෙමි.
All reactions:

No comments:
Post a Comment